දැක්ම

රාජ්‍ය සහ වෙනත් ඒ හා සමාන ආයතනවල නිලධාරීන්ගෙන් සිදුවන පරිපාලනමය අසාධාරණකම් පිටු දැකීමේ අරමුණින් යුක්තව, සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින්, විශේෂයෙන්ම අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුක්ත, සාධාරණ හා යුක්ති සහගත විනිශ්චයන් ලබාදීම තුලින්, වඩා යහපත් ජනතා මෙහෙවරක් ඉටුකරදීම සහතික කිරීම සඳහා සියලු ප්‍රයත්නයන් දැරීම අපගේ දැක්ම වේ. 

මෙහෙවර

රාජ්‍ය, පළාත් පාලන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් ගනු ලබන දෝෂ සහගත පරිපාලනමය තීන්දු හේතුවෙන් සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි පිළිබඳව අපක්ෂපාතීව පරීක්ෂා කර, ඉන් අනතුරුව, එවැනි උල්ලංඝනය කිරීම් නිවැරදි කිරීම සඳහා වන ප්‍රතිකර්ම ඉදිරිපත් කරමින් ඒ සඳහා සුදුසු නියෝග, තීරණ, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම. ඉහත සඳහන් ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් තුලට, පරිපාලනමය අවගමනයන් සහ විවිධාකාර අනෙකුත් අසාධාරණකම් සහ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ද ඇතුලත් වේ.

ප්‍රධාන කාර්යයන්

  • රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා හෝ එවැනි වෙනත් ආයතනයක නිලධාරීන් විසින් සිදු කරනු ලැබු මුලික අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීම් හෝ ඒ හා සමාන අසාධාරණකම් පිටුදැකීම අරමුණු කරගෙන, පොදු මහජනතාව විසින් සෘජුවම ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලිවලට අදාලව විමර්ශනයන් සිදුකර ඉන් අනතුරුව, දෝෂ සහිත පරිපාලනමය තීරණයන් ඇතොත්, ඒවා ආපසු හරවමින් වෙනස් කරලීම සඳහා ඉල්ලා සිටීම හෝ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම  සහ/හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම කරනු ලබයි.
  • තවද, ඉහත ඡේදයේ සඳහන් ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එවනු ලබන පැමීණිලි ද විමර්ශනය කර, ඒ අනුව උචිත තීරණයන්ට එළඹීම ද අපගේ ක්‍රියාකාරකම් වලට ඇතුලත් වේ.
  • මේ අනුව අප ආයතනයේ ප්‍රධාන කාර්යය වනුයේ රටේ පවත්නා නීතියට හා ඒ යටතේ සාදා ඇති රෙගුලාසි හා රීතින් වලට අනුකූලව කටයුතු කරමින්, ශ්‍රී ලංකා රාජ්‍ය තුල පවතින පරිපාලන යන්ත්‍රය නිවැරදි මගකට යොමු කරමින් කටයුතු කරන අතරම, මහජනතාවගේ කඩවී ඇතැයි කියනු ලබන අයිතිවාසිකම් වලට අදාල තීරණ නිවැරදි කරමින්, ජනතාවට සහන සැලසීමයි.

ඔම්බුඩ්ස්මන් පිළිබඳව

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) වරයාගේ කාර්යභාරය හා ඒ මගින් සහන ලබාගන්නා ආකාරය

කාර්යභාරය

රජයේ නිලධරයකු විසින් හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක හෝ වෙනත් සමාන ආයතනයක නිලධරයකු විසින් ගනුලබන පරිපාලන තීරණ හේතුවෙන්, යම් තැනැත්තෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් හෝ වෙනත් අයුක්තියක් සිදුවන අවස්ථාවලදී එය මගහරවා ගැනීම සඳහා වන සහන ලබාගත හැකි ප්‍රධාන ආයතනයක් ලෙසට පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යාලය සැලකිය හැකිය.

පත්කිරීම

ඔම්බුඩ්ස්මන් තනතුර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව සමඟ කියැවෙන විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 (ඇ) ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත තනතුරකි. තවද, විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41 (ඇ) ව්‍යවස්ථාවට අනුකූලව අතිගරු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබ, “ව්‍යවස්ථාදායක සභාව” විසින් අනුමත කිරීමෙන් පසු, අතිගරු ජනාධිපතිවරයා විසින් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත් කරනු ලබයි. ඔහු තනතුරින් ඉවත් කළ හැක්කේ, පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කොට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණකි.

බලතල හා ක්‍රියාකාරකම්

1994 අංක 26 දරන පනතින් සංශෝධිත, 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) පනතින් පවරා ඇති බලතල අනුව, රජයේ නිලධාරියෙකු, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු, රාජ්‍ය සංස්ථා සහ ඊට සමාන වෙනත් ආයතනයක නිලධාරියෙකු විසින් යම් අයෙකුගේ මූලික අයිතිවාසිකම් හෝ ඒහා සමාන වෙනත් අයුක්තියක් කඩ කරනු ලැබ ඇති බව හෝ එවැන්නක් දැනට සිදුවෙමින් පවතින බව හෝ  සිදුවීමට ආසන්නව පවතින අවස්ථාවක, ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් සාධාරණ නිශ්චයකට එළඹී, සහනදායී නිර්දේශ ඉදිරිපත් කිරීම ඔම්බුඩ්ස්මන් වරයාගේ ප්‍රධාන කාර්යභාරයයි.

පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු ආකාරය

1994 අංක 26 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් සංශෝධන පනතේ විධිවිධාන පරිදි, කිසියම් පුද්ගලයකු විසින් තමාට සිදුවූ අසාධාරණය පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ඔම්බුඩ්ස්මන්වරයා වෙත සෘජුවම ඉදිරිපත් කළ හැකිය. මෙම කාර්යාලයෙන් නිකුත් කර ඇති ඕඑම්බි 01 ආකෘති පත්‍රය මගින් කරුණු ඉදිරිපත් කිරීම තුලින් පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීම පහසු වනවා ඇත. අතින් ගෙනවිත් භාරදීමෙන්, ලියාපදිංචි/සාමාන්‍ය තැපැල් හෝ විද්‍යුත් ක්‍රම මගින්, පැමිණිලි ඉදිරිපත් කල හැකිය. පැමිණිල්ලක් තම සේවා ප්‍රධානියා මගින් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මගින්, ගරු කථානායකතුමා හරහා “මහජන පෙත්සම් කාරක සභාව” වෙත යොමු කරන පැමිණිලි වුව ද, එම පාර්ලිමේන්තු කාරක සභාව විසින් පනතේ විධිවිධාන පරිදි ඒ පිළිබඳ ව විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා ද ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු කරනු ලැබිය හැකිය. එවැනි පැමිණිලි පරීක්ෂා කර ඔම්බුඩ්ස්මන්වරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඒ සම්බන්ධයෙන් වන අවසාන තීරණය මහජන පෙත්සම් කාරක සභාව විසින් ලබා දෙනු ලබයි.

පැමිණිල්ලකට ඇතුළත් විය යුතු අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු

  1. සිදුවූ අසාධාරණය කෙටියෙන් , සරලව සහ පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය. එය ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) ඉදිරිපත් කිරීමට අවකාශ ඇත.
  2. පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ කුමන තීරණයකට එරෙහිව ද යන්න හා පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ කුමන තනතුර දරණ නිලධාරියකුට විරද්ධව ද යන්න සහ එම නිලධාරියා දරන තනතුර හා ලිපිනයත්, පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය.
  3. පැමිණිල්ල සනාථ කිරීමට ඉදිරිපත් කරනු ලබන (අසාධාරණයට සම්බන්ධ) වැදගත් ලියකියවිලිවල ඡායා පිටපත් ඇමිණීම වඩා යෝග්‍ය වේ. ඇමුණුම් වශයෙන් මුල් පිටපත් ඇමිණිය යුතු නොවේ.
  4. තමා ඉල්ලා සිටින සහනය හෝ සහනයන්, කවරේ ද යන්න පැහැදිලිව පැමිණිල්ල අවසානයේ සඳහන් කළ යුතුය.