පැමිණිලි ඉදිරිපත් කළ යුතු ආකාරය

පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු ආකාරය

1994 අංක 26 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් සංශෝධන පනතේ විධිවිධාන පරිදි, කිසියම් පුද්ගලයකු විසින් තමාට සිදුවූ අසාධාරණය පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ඔම්බුඩ්ස්මන්වරයා වෙත සෘජුවම ඉදිරිපත් කළ හැකිය. මෙම කාර්යාලයෙන් නිකුත් කර ඇති ඕඑම්බි 01 ආකෘති පත්‍රය මගින් කරුණු ඉදිරිපත් කිරීම තුලින් පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරීක්ෂණ පැවැත්වීම පහසු වනවා ඇත. අතින් ගෙනවිත් භාරදීමෙන්, ලියාපදිංචි/සාමාන්‍ය තැපැල් හෝ විද්‍යුත් ක්‍රම මගින්, පැමිණිලි ඉදිරිපත් කල හැකිය. පැමිණිල්ලක් තම සේවා ප්‍රධානියා මගින් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මගින්, ගරු කථානායකතුමා හරහා “මහජන පෙත්සම් කාරක සභාව” වෙත යොමු කරන පැමිණිලි වුව ද, එම පාර්ලිමේන්තු කාරක සභාව විසින් පනතේ විධිවිධාන පරිදි ඒ පිළිබඳ ව විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා ද ඔම්බුඩ්ස්මන්වරයා වෙත යොමු කරනු ලැබිය හැකිය. එවැනි පැමිණිලි පරීක්ෂා කර ඔම්බුඩ්ස්මන්වරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඒ සම්බන්ධයෙන් වන අවසාන තීරණය මහජන පෙත්සම් කාරක සභාව විසින් ලබා දෙනු ලබයි.

පැමිණිල්ලකට ඇතුළත් විය යුතු අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණු

  1. සිදුවූ අසාධාරණය කෙටියෙන් , සරලව සහ පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය. එය ඕනෑම භාෂාවකින් (සිංහල, දෙමළ, ඉංග්‍රීසි) ඉදිරිපත් කිරීමට අවකාශ ඇත.
  2. පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ කුමන තීරණයකට එරෙහිව ද යන්න හා පැමිණිල්ල ඉදිරිපත් කරනු ලබන්නේ කුමන තනතුර දරණ නිලධාරියකුට විරද්ධව ද යන්න සහ එම නිලධාරියා දරන තනතුර හා ලිපිනයත්, පැහැදිලිව සඳහන් කර තිබිය යුතුය.
  3. පැමිණිල්ල සනාථ කිරීමට ඉදිරිපත් කරනු ලබන (අසාධාරණයට සම්බන්ධ) වැදගත් ලියකියවිලිවල ඡායා පිටපත් ඇමිණීම වඩා යෝග්‍ය වේ. ඇමුණුම් වශයෙන් මුල් පිටපත් ඇමිණිය යුතු නොවේ.
  4. තමා ඉල්ලා සිටින සහනය හෝ සහනයන්, කවරේ ද යන්න පැහැදිලිව පැමිණිල්ල අවසානයේ සඳහන් කළ යුතුය.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ගනු ලබන ක්‍රියාමාර්ග

ඔම්බුඩ්ස්මන්වරයා විසින් පැමිණිල්ලේ ස්වභාවය අනුව පහත දැක්වෙන ක්‍රම උපයෝගි කරගනිමින්, සුදුසු පරිදි විමර්ශනයක් සිදු කර, ඒ සඳහා වන සහන අප්‍රමාදව ලබා දීමට ක්‍රියා කරනු ඇත.

  1. ලැබී ඇති පැමිණිල්ල පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ විෂය පථයට අදාල වන්නේ ද යන්න ප්‍රථමයෙන් තීරණය කරනු ලබයි.
  2. පැමිණිල්ලේ සඳහන් කරුණ අපගේ විෂය පථයට ඇතුලත් වන්නේ නම්, ඒ සඳහා වන කරුණු විමසමින් වගඋත්තරකාර පාර්ශවය වෙතින් වාර්තා කැඳවනු ලබයි. අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා සාමාන්‍ය වශයෙන් සති 02 ක කාල පරිච්ඡේදයක් දෙනු ලබයි.
  3. එකී වාර්තාවල ඇතුලත් කරුණු සලකා බලමින්, අවශ්‍ය ඉදිරි පියවර ගනු ලබන අතර, වාර්තාව කැඳවීම මගින් සිදුවී ඇතැයි කියනු ලබන අයුක්තිය නිවැරදි කර ඇත්නම්, ඒ බව පැමිණිලිකරුට දැනුම් දීමට පියවර ගනු ලැබේ. එසේ නොමැති නම්, අවශ්‍ය පරිදි ලිපි හුවමාරු කරමින් ඒ සඳහා වන වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යනු ලබයි.
  4. ඒ අන්දමේ ලිපි හුවමාරු කිරීම මගින් පැමිණිලිකරු වෙත සහන ලබාදීමට හැකිතාක් දුරට උත්සාහ කෙරේ. ඒ මඟින් මෙම කාර්යාලයේ පවත්වනු ලබන පරික්ෂණ සඳහා නිලධාරීන් කාර්යාලයට ගෙන්වා ගැනීම අවම වනු ඇත.
  5. අදාළ ලිපි හුවමාරුවීමේ දී පැමිණිලිකරු වෙත අසාධාරණයක් සිදුවී නොමැති බව තහවුරු වන්නේ නම්, ඒ බව පැමිණිලිකරු හා අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගනී.
  6. ලිපි හුවමාරුව මගින් නිශ්චිත තීරණයකට එළඹිමට අපහසු බවට ඔම්බුඩ්ස්මන්වරයා කල්පනා කරන අවස්ථාවල දී, සියළුම පාර්ශවකරුවන්ගේ සභාගිත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව සුදුසු සහනදායී නිර්දේශ නිකුත් කෙරේ.
  7. අවසාන වශයෙන් ඔම්බුඩ්ස්මන්වරයා විසින් ගනු ලබන තීරණ/නිර්දේශ/යෝජනා පැමිණිලිකරුට හා අදාළ නිලධාරින් වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගනී.
  8. ඔම්බුඩ්ස්මන්වරයා විසින් ගනුලබන තීරණ/නිර්දේශ/යෝජනා පිළිබඳව වගඋත්තරකාර පාර්ශවය වෙත ලිඛිතව දන්වා යවා ඒවා අවම කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
  9. කිසියම් වගඋත්තරකාර ආයතන ප්‍රධානියෙකු (බලයලත් නිලධාරියෙකු) ඉහතකී නිර්දේශ ක්‍රියාත්මක නො කළහොත් හා නිර්දේශයන් පිළිබඳ ව ප්‍රමාණවත් යැයි ඔම්බුඩ්ස්මන්වරයාට පෙනී යන කිසියම් ක්‍රියාමාර්ගයක් නියමිත කාල සීමාව ඇතුළත ගනු නො ලැබුවහොත්;අදාළ ආයතන ප්‍රධානියා විසින් කරනු ලබන යම් නිරීක්ෂණයන් ඇතොත්, එය ද ගැඹුරින් සලකා බැලීමෙන් පසුව, ඔම්බුඩ්ස්මන්වරයා විසින් තම නිර්දේශය සහිත අවසන් වාර්තාවක් පනතේ විධිවිධාන පරිදි, අතිගරු ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
  10. ඔම්බුඩ්ස්මන්වරයා විසින් පරීක්ෂණයට කැඳවනු ලබන පාර්ශවකරුවන් වෙනුවෙන් නීතිඥයෙකු මගින් හෝ වෙනත් සහායක පුදගලයකු (රැකවරණ නිලධාරී) මගින් පෙනී සිටීම සඳහා සහාය ලබා ගැනීමට පනතේ විධිවිධාන අනුව ඉඩකඩ නොමැත. කෙසේනමුත් පැමිණිලිකරුගේ ශාරීරික දුර්වලතා හෝ තේරුම් ගැනීමේ දුර්වලතා ඇති අවශ්‍යතාවලදී, ඔම්බුඩ්ස්මන්වරයාගේ විශේෂ අවසරය පරිදි තම හිතවතුන්ගේ / ඥාතිවරයෙකුගේ සහාය ඒ සඳහා ලබා ගත හැකිය.
  11. පැමිණිල්ලේ ස්වභාවය අනුව හා වගඋත්තරකාර නිලධාරීන්ගේ ප්‍රතිචාරයන් අනුව, සහන ලබා ගැනීමට ගතවිය හැකි කාලය තීරණය වනවා ඇත. ඒ අනුව වගඋත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කල යුතු වාර්තාව කඩිනමින් ලැබෙන්නේ නම් අදාළ සහනයන් අප්‍රමාදව ලබාදීමට එය උපකාරි වනවා ඇත. අදාළ නිලධාරින්ගේ ප්‍රතිචාරයන් අනුව, සාමාන්‍ය වශයෙන් මාස 03ක් ඇතුලත අපගේ නිර්දේශයන් නිකුත් කිරීමට සෑම උත්සාහයක්ම ගනු ලබනවා ඇත. කෙසේවෙතත්, පැමිණිල්ල ලැබී එක් වර්ෂයක් තුල දී, එයට අදාළ වන අවසාන තීරණය ගැනීමට බලවත් උත්සාහයක් දරණු  ලැබේ.

පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි අවස්ථා

  1. රැකියා සහ හෝ නිවාස ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ( පනතේ 10 (2) වගන්තිය)
  2. මහජන ආරක්ෂාවට අදාල හා මහජන ආරක්ෂක ආඥා පනතේ සඳහන් කරුණු වලට අදාල වන පැමිණිලි (පනතේ 11 (ආ) (i) වගන්තිය)
  3. මහජන සාමය පවත්වාගෙන යාම භාර සන්නද්ධ හමුදාවල, පොලිස් හමුදාවේ හෝ වෙනත් හමුදාවල සාමාජිකයකුව සිටින හෝ සිටි, යම් තැනැත්තකුට අදාල සේවා නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් යොමු කරනු ලබන පැමිණිලි (පනතේ 11 (ආ) (iii) වගන්තිය)
  4. කිසියම් ඉල්ලීමකට අදාලව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹී ඇති හෝ ඒ පිළිබඳව අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථා (පනතේ 11 (ආ) (iv) වගන්තිය)
  5. රජයේ නිලධරයන්ගේ පත්කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම්, විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන පැමිණිලි ( පනතේ 11 (ආ) (v) වගන්තිය)
  6. විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලැබූ හෝ පවත්වනු ලබන විගණන කටයුතු වලට සම්බන්ධ පැමිණිලි (පනතේ 11 (ආ) (vi) වගන්තිය)
  7. අනවශ්‍ය ලෙස ප්‍රමාදවිමකින් පසුව ඉදිරිපත් කරනු ලබන පැමිණිලි( පනතේ 13 (1) (ඇ))
  8. රාජ්‍ය ප්‍රතිපත්තින් සම්බන්ධව උද්ගතවන ගැටළු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් වන ඉල්ලීම්.
  9. මැතිවරණ කොමසාරිස්වරයාගේ මැතිවරණ කටයුතු වලට අදාළ සිදුවීම්
  10. පුද්ගලික සමාගම් ඇතුළු පෞද්ගලික පාර්ශවකරුවන් අතර ඇතිවන ආරවුල් වලට අදාළ කටයුතු
  11. නිර්නාමිකව හෝ අත්සන නොමැතිව ලැබෙන පැමිණිලි