දැක්මදැක්ම
---රාජ්‍ය සහ වෙනත් ඒ හා සමාන ආයතනවල නිලධාරීන්ගෙන් සිදුවන පරිපාලනමය අසාධාරණකම් පිටු දැකීමේ අරමුණින් යුක්තව, සුපරික්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින්, විශේෂයෙන්ම අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුක්ත, සාධාරණ හා යුක්තිසහගත විනිශ්චයන් ලබාදීම තුලින්, වඩා යහපත් ජනතා මෙහෙවරක් ඉටුකරදීම සහතික කිරීම සඳහා සියලු ප්‍රයත්නයන් දැරීම අපගේ දැක්ම වේ.
මෙහෙවරමෙහෙවර
---රාජ්‍ය, පළාත් පාලන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් විසින් ගනු ලබන දෝෂ සහගත පරිපාලනමය තීන්දු හේතුවෙන් සිදුවන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන පැමිණිලි පිළිබඳව අපක්ෂපාතීව පරීක්ෂා කර, ඉන් අනතුරුව, එවැනි උල්ලංඝනය කිරීම් නිවැරදි කිරීම සඳහා වන ප්‍රතිකර්ම ඉදිරිපත් කරමින් ඒ සඳහා සුදුසු නියෝග, තීරණ, යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම. ඉහත සඳහන් ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් තුලට, පරිපාලනමය අවගමනයන් සහ විවිධාකාර අනෙකුත් අසාධාරණකම් සහ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් ද ඇතුලත් වේ.
ආයතනයේ කාර්යයන්ආයතනයේ කාර්යයන්
----
රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා හෝ එවැනි ආයතනයක නිලධාරීන් විසින් සිදු කරනු ලැබූ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ ඒ හා සමාන අසාධාරණකම් පිටුදැකීම අරමුණු කරගෙන, පොදු මහජනතාව විසින් සෘජුවම ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලිවලට අදාලව විමර්ශනයන් සිදුකර ඉන් අනතුරුව, දෝෂ සහිත පරිපාලනමය තීරණයන් ඇතොත්, ඒවා ආපසු හරවමින් වෙනස් කරලීම සඳහා ඉල්ලා සිටීම හෝ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ/හෝ නිර්දේශ ඉදිරිපත් කිරීම කරනු ලබයි.
-
තවද, ඉහත ඡේදයේ සඳහන් ආකාරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාව වෙත යොමු කිරීමෙන්ක අනතුරුව එවනු ලබන පැමිණිලි ද විමර්ශනය කර, ඒ අනුව උචිත තීරණයන්ට එළඹීම ද අපගේ ක්‍රියාකාරකම් වලට ඇතුලත් වේ.
-
මේ අනුව අප ආයතනයේ ප්‍රධාන කාර්යය වනුයේ රටේ පවත්නා නීතියට හා ඒ යටතේ සාදා ඇති රෙගුලාසි හා රීතින් වලට අනුකූලව කටයුතු කරමින්, ශ්‍රී ලංකා රාජ්‍ය තුල පවතින පරිපාලන යන්ත්‍රය නිවැරදි මගකට යොමු කරමින් කටයුතු කරන අතරම, මහජනතාවගේ කඩ වී ඇතැයි කියනු ලබන අයිතිවාසිකම් වලට අදාල තීරණ නිවැරදි කරමින් ජනතාවට සහන සැලසීමයි.

- රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, පළාත් සභා හෝ වෙනත් එවැනි ආයතනයක නිලධාරීන් විසින් සිදු කරනු ලැබු මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ ඒ හා සමාන අසාධාරණකම් හා තීරණ හේතුවෙන් අසාධාරණයට ලක් වූ මහජනතාව, සේවාලාභීන් වේ.
- අවසාන වශයෙන්, අපගේ ප්‍රයත්නය වනුයේ රටේ සමස්ථ පරිපාලන ක්‍රමයේම ප්‍රමිතිය ඉහල නැංවීමයි.

අප ආයතනය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේදී, අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් වන පහත සඳහන් උපදෙස් වැදගත් මෙන්ම, අවශ්‍ය කරුණු ද වනවා ඇත.
- ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ල ලිඛිතව කළ යුතු අතර, එය ලේඛනගත සාක්ෂි මගින් ද සනාථ කළ යුතු අතර, කරනු ලබන පරිපාලනමය දෝෂ සහිත තීරණය විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.
- ඉදිරිපත් කරනු ලබන ලිඛිත පැමිණිල්ල සමග ඊට අදාල තොරතුරු නිවැරදිව හා නිසිපරිදි පෙන්නුම් කර, සම්පූර්ණ කරන ලද “OMB 01” ආකෘති පත්‍රයක් මගින් යොමු කිරීම.
මෙමගින් මහජනතාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිවැරදි තොරතුරු පැහැදිලිව ලබාගැනීම පහසු කරවන අතර අපගේ සේවාවන් සැපයීම කෙටි කාලයක් තුලදී ඉටුකිරීමට ද එය උපකාරී වනු ඇත.

1994 අංක 26 දරන පනතින් සංශෝධිත 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) පනතින් පවරා ඇති බලතල ප්‍රකාරව පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් වෙත යොමු කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන්, එම පනත් වල සඳහන් ආකාරයට ක්‍රියා කරනු ලබන අතර, පනතේ විෂය පථය තුලට නොගැනෙන පැමිණිලි ප්‍රතික්ෂේප වීමට හේතු දක්වමින්, ඒ පිළිබඳව පැමිණිලිකරු වෙත වහාම දැනුම් දීම සිදු කරනු ලබයි.
ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය වන ඉදිරි පියවර ගැනීම සඳහා, පැමිණිල්ල ලැබී අවම වශයෙන් දින 03ක පමණ කාලයක් තුල, ඒ සම්බන්ධයෙන් ගත යුතු ප්‍රථම තීරණයට එළඹීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දරනු ලැබේ.
අනතුරුව ප්‍රථම පියවරක් වශයෙන්, වගඋත්තරකාර පාර්ශවයන් වෙතින් වාර්තා කැඳවීමකින් අනතුරුව එකී වාර්තා අධ්‍යයනය කර, ඒවායෙහි ඇතුලත් කරුණු සලකා බලා, පැමිණිලි පාර්ශවයට සහන ලබා දිය හැකි අවස්ථාවලදී, එම සහන ලබා දීමට පියවර ගනු ලැබේ.
පැමිණිල්ලේ ස්වභාවය සංකීර්ණ වන අවස්ථාවලදී, ඉහත සඳහන් පරිදි වාර්තා කැඳවීමට අමතරව සියලු පාර්ශවයන් කැඳවා, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව, අයුක්තිය පිටුදැකීම සඳහා අවශ්‍ය සුදුසු සහනදායී නිර්දේශ ලබා දීමට කටයුතු කරනු ලබයි.
ඔම්බුඩ්ස්මන්වරයාගේ විෂය පථය තුලට ඇතුළත් නොවන අවස්ථා පහත සඳහන් වේ.
- රැකියා සහ හෝ නිවාස ලබාදෙන ලෙස කරනු ලබන ඉල්ලීම් ( පනතේ 10 (2) වගන්තිය)
- මහජන ආරක්ෂාවට අදාල හා මහජන ආරක්ෂක ආඥා පනතේ සඳහන් කරුණු වලට අදාල වන පැමිණිලි (පනතේ 11 (ආ) (i) වගන්තිය)
- මහජන සාමය පවත්වාගෙන යාම භාර සන්නද්ධ හමුදාවල, පොලිස් හමුදාවේ හෝ වෙනත් හමුදාවල සාමාජිකයකුව සිටින හෝ සිටි, යම් තැනැත්තකුට අදාල සේවා නියමයන් හා කොන්දේසි සම්බන්ධයෙන් යොමු කරනු ලබන පැමිණිලි (පනතේ 11 (ආ) (iii) වගන්තිය)
- කිසියම් ඉල්ලීමකට අදාලව අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹී ඇති හෝ ඒ පිළිබඳව අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථා (පනතේ 11 (ආ) (iv) වගන්තිය)
- රජයේ නිලධරයන්ගේ පත්කිරීම්, මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම්, විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන පැමිණිලි ( පනතේ 11 (ආ) (v) වගන්තිය)
- විගණකාධිපතිවරයා විසින් පවත්වනු ලැබූ හෝ පවත්වනු ලබන විගණන කටයුතු වලට සම්බන්ධ පැමිණිලි (පනතේ 11 (ආ) (vi) වගන්තිය)
- අනවශ්‍ය ලෙස ප්‍රමාදවිමකින් පසුව ඉදිරිපත් කරනු ලබන පැමිණිලි ( පනතේ 13 (1)(ඇ))
- රාජ්‍ය ප්‍රතිපත්තින් සම්බන්ධව උද්ගතවන ගැටළු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් වන ඉල්ලීම්.
- මැතිවරණ කොමසාරිස්වරයාගේ මැතිවරණ කටයුතු වලට අදාළ සිදුවීම්
- පුද්ගලික සමාගම් ඇතුළු පෞද්ගලික පාර්ශවකරුවන් අතර ඇතිවන ආරවුල් වලට අදාළ කටයුතු
- නිර්නාමිකව හෝ අත්සන නොමැතිව ලැබෙන පැමිණිලි
